Saturday 6th of June 2026

English Tamil
Advertiesment


එදා රජ දවසේ පාලකයන් අසීරු කාලයන්හි ජනතාව අත්නොහැරි සේ මේ අසීරු අවස්ථාවේ ද ජනතාව අත්නොහැරිය යුතුයි


2026-06-05 1262



- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා -



අද කවුරු මොන දේ කිව්වත් අද වන විට ගොවි ජනතාව අමාරුවෙන් සිටින බවත් ලැබු අස්වැන්න ඉහළ ස්ථාවර මිලට විකුණාගත නොහැකි වී ඇති බවත් එදා වී කිලෝවක් රු.90ක් බවත් 14% තෙතමනයට අඩු වී දැන් යන්නේ රු. 114ට බවත් ඉහළ පිරිවැයක් ගොවියා දැරුවත් ගොවියාට අද ලාභයක් නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, ඇලහැර රදවිගේඔය ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තැබීමේ පුණ්‍ය උත්සවය අමතමිනි.

බීජ මිල, පොහොර මිල, කෘමිනාශක මිල වැඩි වී, වන සත්ව ගැටලුව ඉඩෝරය වැනි ගැටලු මැද අස්වැන්න ස්ථාවර මිලකට විකුණා ගත නොහැකි වී ඇති බවත් වී ගොවිතැනේ නියැලෙන ජනතාව කෘෂිකර්මාන්තයේ නියැලෙන ජනතාව බරපතල විෂම චක්‍රයකට මුහුණ දෙන බවත් සෑම තැනකටම ණය වී ලබා ගන්නා නිෂ්පාදනයට ස්ථාවර මිලක් නැති බවත් මෙය විෂම චක්‍රයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වෙහෙර විහාර ඉදි කිරීම සුචරිතවත් පරපුරක් නිර්මාණය කිරීමට මග පෑදීමක්

බෞද්ධයන් ලෙස උතුම් වෙසක් උත්සවය සමරණ මෙ අවස්ථාවේ චෛත්‍යරාජයාණන් වහන්සේ නමක් ඉදි කිරීම ආරම්භ කිරීම සිදු කිරීම වැවයි දාගැබයි ගමයි පන්සලයි යන සංකල්පය නැවත වරක් තහවුරු කිරීමක් සහ ශක්තිමත් කිරීමක් බවත් චෛත්‍ය සහ ස්තූපය අපේ රටේ අනන්‍යාව ඇති කරන අතර ඒ තුළින් සාමය, සමෘද්ධිය, සෞභාග්‍යය රටේ සියලු දෙනාටම උදාකරලීම අපේක්ෂාව බවත් වෙහෙර විහාර ඉදිකිරීම තුළ සාමය සතුට සෞභාග්‍යය ශීලාචාරකම මෙන්ම සුචරිත වූ දැහැමි පුරවැසි පරපුරක් සහිත රටක් නිර්මාණය කරන්න ඉවහල් වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට අලස නොවී දැහැමිව සියලු දේ ඉටු කළ යුතු බවත් ඒ කරන්නා වූ ක්‍රියාවලිය තුළ එකතු කර ගන්නා දේ විනාශ නොකර ආරක්ෂා කරනවා සේම යහපත් මිතුරන් ඇසුරු කර සමබර දිවි පැවැත්මක් ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද වී සඳහා ස්ථාවර මිලක් නැහැ

වත්මන් රජයේ මැති ඇමතිවරු එදා මැතිවරණ සමයේ වී සඳහා රු.150ක ස්ථාවර මිලක් නීතිගක කරනවා කිව්වත් අද පොහොරවල් කෘෂිනාශකත් නොමැති බවත් පොහොර හිඟය සේම කළු කඩ වෙළෙදාමද බහුල බවත් මෙවැනි තත්ත්වයක් උඩ කාටවත් අහක බලන් සිටිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගොවි ජනතාව රැකගත යුතුයි

එදා රජ දවසේ විවිධ අවස්ථාවල ගොවි ජනතාව විපතට පත් වූ විට ගොවියා රැකගන්න කටයුතු කළ බවත් අද දවසේ ද ගොවියා රැකගන්න කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගොවිතැන පාඩු ලබන දෙයක් නොවේ

විවිධ පාර්ශ්ව නවීන න්‍යායන් උපයෝගී කර ගෙන ගොවිතැන පාඩු ලබන බවට මතයන් හදමින් යන බවත් ගොවියා වෙනුවෙන් කිඹුල් කදුලු හලපු රෙද්ද සරම ඇන්ද ඒ අය අද ටයි කෝට් ඇදගෙන ගොවිතැන පාඩු ලබන බවට මත පළ කළත් ගොවිතැන පාඩු ලබන දෙයක් නොව ලාභ ලබන දෙයක් බව අමතක නොකළ යුතු බවත් මේ සඳහා තාක්ෂණික ක්‍රමවේද උපයෝගී කර ගෙන නිෂ්පාදනය ඉහළ දැමීමට හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment